ස්ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා සහ ගැටලු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දැනුවත් කර තිබේ. ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවැති මෙම විශේෂ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී වූ අතර එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වෛද්‍ය මාරුවීම් ක්‍රියාවලිය යටතේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ඇතිවන බාධා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෙම ගැටලු ක්‍රමානුකූලව විසඳීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය වූ අතර පවතින ක්‍රියාවලිය සමාලෝචනය කර වඩාත් කාර්යක්ෂම සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත යුතු බවට ද යෝජනා විය. රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් සහ පරිපාලනමය බාධා අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














