බදුල්ල, ඔලියමන්ඩිය වත්තේ පදිංචි පවුල් 523ක් වසර 40කට අධික කාලයක් මුහුණ දුන් ඉඩම් හිමිකම් ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වූයේ 2026 වසරේ ඉදිරි මාස කිහිපය ඇතුළත එම ජනතාවට නිල හිමිකම් පත්‍ර පිරිනැමීමට කටයුතු කරන බවයි. 1978 වසරේ සිට මෙම ප්‍රදේශයේ පදිංචිව සිටියද, අදාළ ඉඩම් වතු සමාගම්වලට සහ පෞද්ගලික අංශයට අයත්ව තිබීම හේතුවෙන් මෙම ජනතාව මෙතෙක් සිය ඉඩම් සඳහා කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැතිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියහ.
මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ඇතුළු පිරිසක් මැදිහත් වී සිටිති. බදුල්ල මහා නගර සභාව මගින් අදාළ යෝජනාව සම්මත කර ගැනීමෙන් පසු, ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරිය හරහා ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා ගැනීමටත්, ඉඩම් අමාත්‍යාංශය මගින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් මෙහිදී තීරණය විය. වසර 40ක් පුරා බලාපොරොත්තු සුන්ව සිටි ඔලියමන්ඩිය වත්තේ පදිංචිකරුවන්ට මෙමඟින් සිය ස්ථිර නිවාස සංවර්ධන කටයුතු විධිමත් කර ගැනීමට සහ ජීවන තත්ත්වය නගාසිටුවීමට මහත් පිටිවහලක් ලැබෙනු ඇත.














