යුරෝපයේ ගුවන් ගමන් සේවා සඳහා පවතින ඉහළ ඉල්ලුමට අභියෝග කරමින්, ඉතා අඩු මිලට ජාත්‍යන්තර දුම්රිය ගමන් පහසුකම් සපයන ‘GoVolta’ නැමැති ලන්දේසි නව ව්‍යවසාය (Startup) සිය ප්‍රථම ගමන් වාරය මේ සතියේදී ආරම්භ කළේය. ‘දුම්රිය ක්ෂේත්‍රයේ easyJet’ ලෙස හඳුන්වනු ලබන මෙම සේවාව හරහා ඇම්ස්ටර්ඩෑම් සිට බර්ලින් සහ හැම්බර්ග් දක්වා ප්‍රවේශ පත්‍ර යුරෝ 19ක් වැනි අවම මිලක සිට ලබාගත හැකිය. දැනට සතියකට දින තුනක් ක්‍රියාත්මක වන මෙම සේවාව, 2026 ජූලි මාසයේ සිට දිනපතා ක්‍රියාත්මක කිරීමටත්, 2026 දෙසැම්බර් මාසයේ සිට පැරිස් දක්වා ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර තිබේ.
GoVolta සේවාවේ ප්‍රධාන අරමුණ වන්නේ දැරිය හැකි මිල, සෑම ප්‍රවේශ පත්‍රයකටම හිමිවන සහතික කළ ආසනය සහ සෘජු ගමන් සබඳතා (Direct connections) මඟින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමයි. දැනට පවතින අධිවේගී දුම්රියවලට වඩා මෙහි වේගය තරමක් අඩු වුවද (පැයට කිලෝමීටර් 160), සාමාන්‍ය ගාස්තුව යුරෝ 30ක් වැනි මට්ටමක පවත්වා ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙය පරිසර හිතකාමී ගමන් ක්‍රමයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙන අතර, ගුවන් යානා සහ පෞද්ගලික මෝටර් රථ වෙනුවට දුම්රිය භාවිතයට ජනතාව යොමු කිරීම මෙහි තවත් අරමුණකි.
මෙම දුම්රියන්හි මැදිරි 11ක් තුළ ආසන 820ක් පවතින අතර, මගීන්ට ‘Economy’ සහ ‘Comfort’ ලෙස පන්ති දෙකක් යටතේ ගමන් පහසුකම් තෝරා ගත හැකිය. උණුසුම් සහ සිසිල් පාන වර්ග මෙන්ම සැහැල්ලු ආහාර ලබාගත හැකි විශේෂ මැදිරියක් ද මීට ඇතුළත් වේ. යුරෝපය පුරා අඩු පිරිවැය දුම්රිය සේවාවන් (Budget trains) ව්‍යාප්ත වෙමින් පවතින වටපිටාවක, GoVolta හි පැමිණීම ජාත්‍යන්තර දුම්රිය වෙළඳපොළේ විශාල පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














