හෙට (21) සෙනසුරාදා සහ අනිද්දා (22) ඉරිදා දිනවල ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් නොකරන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අද (20) තහවුරු කළේය. දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සති අන්තයේදීත් අඛණ්ඩව සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අද (20) දිනයේ ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් (Even number) වන වාහන සඳහා පමණි. QR කේතය සහ ඔත්තේ/ඉරට්ටේ ක්‍රමය (Odd/Even system) ක්‍රියාත්මක කිරීම නිසා පිරවුම්හල් අසල පවතින තදබදය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර මහජනතාවට වඩාත් පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඉන්ධන පිරවුම්හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිසිය සහ යුධ හමුදාව යොදවා ඇති අතර වැල්ලවාය ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පිරවුම්හල් හරහා ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීම කන්තලේ, කින්යා සහ මූතූර් වැනි ලංගම ඩිපෝ හරහා විධිමත්ව සිදු කිරීමට පියවර ගෙන තිබේ.
පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ රජය විසින් ඉන්ධන කළමනාකරණය සඳහා ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගවලට සහාය දක්වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.














