ඊද් අල්-ෆිතර් උත්සව සිරිය මැද කුවේට් රාජ්‍යයේ විශාලතම තෙල් පිරිපහදුව වන මිනා අල්-අහ්මදි (Mina Al-Ahmadi) ඉලක්ක කරගනිමින් ඉරානය දරුණු ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. දිනකට බොරතෙල් බැරල් 730,000ක් පිරිපහදු කිරීමේ ධාරිතාවකින් යුත් මෙම මධ්‍යස්ථානයේ ඒකක කිහිපයක ප්‍රහාරයත් සමඟ විශාල ගිනි ගැනීම් හටගෙන ඇති බව වාර්තා වේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ මෙය තම රටේ ‘සවුත් පාර්ස්’ ගෑස් නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව දියත් කළ දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක කොටසක් බවයි.
මෙම ප්‍රහාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත ඇමෙරිකානු බලඇණිවලට සහ ඊශ්‍රායලයේ මර්මස්ථානවලට ද තමන් පහර දුන් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මීට පෙර කටාර් රාජ්‍යයේ රස් ලැෆාන් (Ras Laffan) LNG පර්යන්තයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් දැනටමත් ලෝක ස්වභාවික වායු සැපයුමෙන් 17%ක් අඩාල වී ඇති අතර, ඉන් සිදුව ඇති වාර්ෂික ආදායම් පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 20කි. එම මධ්‍යස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට වසර 5ක් පමණ ගතවනු ඇතැයි ගණන් බලා තිබීම ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වූ මරු පහරකි.
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ගෝලීය බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර, එහි බලපෑම මත ආසියානු රටවල් කිහිපයක දැනටමත් විදුලි සලාක ක්‍රම ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. මෙම තත්ත්වය හමුවේ ඇමෙරිකාව සහ එහි මිත්‍ර රටවල් ඉරානයට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇත.














