මස්කෙළිය නගරයේ ආයුර්වේද ඔසුසලක් පවත්වාගෙන යමින් පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ 20 හැවිරිදි සැකකරුවෙකු හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා වෙත ලැබුණු රහස් තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ මදන මෝදක ගුලි 648ක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෝදක ගුලි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 162,000ක් පමණ වන අතර සැකකරු විසින් එක් ගුලියක් රුපියල් 250ක මිලකට අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මස්කෙළිය ප්‍රදේශයේම පදිංචි මෙම තරුණ සැකකරු පාසල් සිසුන් සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වා ගනිමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මස්කෙළිය පොලිසිය වෙත භාර දී ඇති අතර සහකාර පොලිස් අධිකාරී නිස්සංක ගොඩමුණ්න මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය. වත්මන් සමාජ අර්බුද හමුවේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවන මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු වහාම ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














