පවතින ඉන්ධන හිඟය සහ පසුගියදා සිදු වූ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම ආහාරපානවල මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. දිවයින පුරා පිහිටි ආපනශාලා සහ බේකරි හිමියන් විධිමත් පාලනයකින් තොරව තමන්ට රිසි පරිදි මිල ගණන් සංශෝධනය කිරීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති. විශේෂයෙන්ම දෛනික වේතනයක් ලබන පිරිස් සහ කාර්යාල සේවකයන් පෙන්වා දෙන්නේ ප්‍රධාන ආහාර වේලක මිල පවා මේ වන විට දැරිය නොහැකි සීමාවකට පැමිණ ඇති බවයි.
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ යාම මෙරට නිෂ්පාදන වියදමට සෘජුව බලපා ඇති බව ව්‍යවසායකයන් පවසන අතර, පාරිභෝගිකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ බේකරි නිෂ්පාදන සහ ආපනශාලා ආහාර සඳහා සාධාරණ පාලන මිලක් වහාම හඳුන්වා දෙන ලෙසයි. මිල දර්ශක ප්‍රදර්ශනය නොකරන සහ අසාධාරණ ලෙස මිල ඉහළ නංවා ඇති වෙළඳසැල් සොයා වැටලීම් දැඩි කරන ලෙස ද ජනතාව පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටිති.














