දිල්ලියේ සිට වැනකුවර් (Vancouver) බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්ඩියා සමාගමට අයත් බෝයිං 777-200LR වර්ගයේ ගුවන් යානයක්, පියාසර කරමින් සිටියදී අතරමඟින් යළි හරවා එවන ලද පුවතක් වාර්තා වේ. ගුවන් ගමන් දත්ත පෙන්වා දෙන පරිදි චීන ගුවන් සීමාවට ඇතුළු වී පැය හතරකට අධික කාලයක් පියාසර කර තිබූ මෙම යානය යළි දිල්ලිය බලා හරවා එවා ඇත්තේ අදාළ යානය කැනඩාව තුළ ගුවන් මෙහෙයුම් සඳහා අනුමත කර නොතිබීම හේතුවෙනි.
මෙහෙයුම් අවශ්‍යතා යාවත්කාලීන කිරීමේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් කැනඩා ගුවන් ගමන සඳහා නුසුදුසු ගුවන් යානයක් අත්වැරදීමකින් යොදවා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පැය හතකට අධික කාලයක් ගුවනේ ගත කළ මෙම යානය යළි දිල්ලියට ගොඩබැස්සවීමෙන් පසු එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ඇත.
එයාර් ඉන්ඩියා ප්‍රකාශකයෙකු සඳහන් කළේ මගීන්ට අවශ්‍ය හෝටල් පහසුකම් සහ අනෙකුත් සහන සලසා දීමට පියවර ගත් බවයි. අදාළ මගීන් පිරිස පසුදා (20) පෙරවරුවේ වෙනත් සුදුසු ගුවන් යානයක් මඟින් වැනකුවර් බලා පිටත් කර හැරීමට කටයුතු කර තිබේ. ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීතිවලට අනුකූල නොවන යානයක් යෙදවීම වැනි මෙවැනි තාක්ෂණික හෝ පරිපාලනමය දෝෂ ගුවන් සේවාවල විශ්වාසනීයත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දෙති.














