ඉන්දියන් සාගරයේ පිහිටි ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුරක් වන ඩියාගෝ ගාර්සියා ඉලක්ක කරගනිමින් ඉරානය විසින් මධ්‍යන්තර දුර විහිදුම් බැලැස්ටික් මිසයිල (IRBM) දෙකක් එල්ල කර ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත වාර්තා කර තිබේ. මෙය ඉරානය විසින් සිය මිසයිල බලය මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ව්‍යාප්ත කිරීමට ගත් ප්‍රථම මෙහෙයුම් උත්සාහය ලෙස සැලකෙන අතර මෙම ප්‍රහාරය හරහා ඉරානය සතු මිසයිලවල මෙතෙක් ලෝකය දැන සිටි සීමාවට වඩා වැඩි දුර පරාසයක් ඇති බව සනාථ වී තිබේ.
මෙම ප්‍රහාරයට අදාළ තාක්ෂණික සහ යුදමය තොරතුරු කිහිපයක් මෙසේය. එල්ල කරන ලද මිසයිල දෙකෙන් එකක් ගුවනේදීම අක්‍රිය වී කඩා වැටී ඇති අතර අනෙක් මිසයිලය විනාශ කිරීම සඳහා ඇමෙරිකානු නාවික හමුදා යුද නෞකාවක් මඟින් ‘SM-3’ වර්ගයේ ප්‍රහාරක මිසයිලයක් (Interceptor) මුදාහැර තිබේ. කෙසේ වෙතත් එම ප්‍රහාරක මිසයිලය ඉලක්කය සාර්ථකව විනාශ කළේද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු වී නොමැති වුවද ඉරාන මිසයිල කිසිවක් කඳවුරට පතිත වී නොමැති බව ඇමෙරිකානු බලධාරීහු තහවුරු කරති.
ඩියාගෝ ගාර්සියා කඳවුර ඇමෙරිකානු බෝම්බ හෙලන යානා සහ අනෙකුත් යුද උපකරණ රඳවා තබා ගන්නා ප්‍රධාන මධ්‍යස්ථානයක් වන අතර එය ඇෆ්ගනිස්ථාන සහ ඉරාක යුද මෙහෙයුම් සඳහා ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ස්ථානයකි. ඉරානයට එරෙහි ‘ආරක්ෂක’ මෙහෙයුම් සඳහා ඇමෙරිකාවට සිය කඳවුරු භාවිත කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබා දීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම සිදුවීමත් සමඟ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි වී ඇති අතර ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවෙයි.
















