ලොව පුරා තාරකා විද්‍යා ලෝලීන්ගේ සහ සංචාරකයන්ගේ අවධානය දැන් සිටම 2027 අගෝස්තු 02 වනදා කරා යොමු වෙමින් පවතී. “ශතවර්ෂයේ සූර්යග්‍රහණය” (Eclipse of the Century) ලෙස හඳුන්වන මෙය, ගොඩබිම සිට නැරඹිය හැකි දීර්ඝතම පූර්ණ සූර්යග්‍රහණය ලෙස ඉතිහාසයට එක් වීමට නියමිතය. මෙහි පූර්ණත්වය (Totality) මිනිත්තු 6යි තත්පර 23ක් වැනි සුවිශේෂී කාලයක් පුරා පවතින අතර, එය 2024 දී ඇමරිකාවට දිස්වූ සූර්යග්‍රහණයට (මිනිත්තු 4යි තත්පර 28) වඩා බෙහෙවින් වැඩි කාලයකි.
මෙම සූර්යග්‍රහණය නැරඹීම සඳහා වඩාත් උචිතම ස්ථානය ලෙස ඊජිප්තුවේ ලක්සෝර් (Luxor) නගරය හඳුනාගෙන ඇති අතර, ඊට අමතරව ස්පාඤ්ඤයේ මලගා (Málaga), මොරොක්කෝවේ ටැන්ජියර් (Tangier) සහ සෞදි අරාබියේ ජෙඩා (Jeddah) වැනි ප්‍රධාන නගර රැසකට ද මෙය මනාව දර්ශනය වේ. චන්ද්‍රයා විසින් සූර්යයා සම්පූර්ණයෙන්ම වසා ගන්නා එම මොහොතේදී සූර්යයාගේ පිටත වායුගෝලය හෙවත් ‘කොරෝනාව’ (Corona) පියවි ඇසින් නැරඹීමට අවස්ථාව ලැබෙන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් පමණ පහත වැටීම ද විශේෂත්වයකි.
නාසා (NASA) ආයතනයේ විද්‍යාඥ ආචාර්ය කෙලී කොරෙක් පවසන පරිදි, ඡායාරූපවලින් දැකීමට වඩා සජීවීව මෙය අත්විඳීම අතිශය විස්මිත අත්දැකීමකි. කෙසේ වෙතත්, සූර්යග්‍රහණය නැරඹීමේදී ISO 12312-2 ප්‍රමිතියෙන් යුත් විශේෂ ආරක්ෂිත කණ්ණාඩි භාවිත කිරීම අනිවාර්ය බව ඇය අවධාරණය කරයි. මේ වසරේ (2026) අගෝස්තු 12 වනදා ද අයිස්ලන්තයට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වීමට නියමිත වුවද, 2027 වසරේ සිදුවන මෙම දැවැන්ත සංසිද්ධිය දැකබලා ගැනීම සඳහා ලොව පුරා “තාරකා සංචාරක කර්මාන්තය” (Astrotourism) දැන් සිටම සූදානම් වෙමින් පවතී.














