දකුණු කොරියාවේ දේජොන් (Daejeon) නගරයේ පිහිටි මෝටර් රථ උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ඊයේ (20) දහවල් ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු තහවුරු කරති. තුවාල ලැබූවන්ගෙන් 25 දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර තවත් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීමේ සහ සහන මෙහෙයුම් සඳහා එම ස්ථානයේ ගබඩා කර තිබූ සෝඩියම් (Sodium) තොග දැඩි බාධාවක් වී තිබේ. සෝඩියම් ජලය සමඟ ස්පර්ශ වීමේදී පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ගිනි නිවන භටයන්ට ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. ගින්න හටගන්නා අවස්ථාවේදී කර්මාන්තශාලාව තුළ සේවකයන් 170ක් පමණ රැඳී සිට ඇති අතර, ප්‍රබල පිපිරීමක් සමඟ ගින්න වේගයෙන් පැතිර ගිය බව ඇසින් දුටුවෝ පවසති. දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) මහතා විසින් සහන මෙහෙයුම් සඳහා අවශ්‍ය සියලු සම්පත් යොදවන ලෙස නියෝග කර ඇති අතර, මෙරට කාර්මික සුරක්ෂිතතාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කර තිබේ.














