ඉන්දියාවේ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකායන් (CAPF) සඳහා පොදු නීති පද්ධතියක් හඳුන්වා දෙන “මධ්‍යම සන්නද්ධ පොලිස් බලකා (සාමාන්‍ය පරිපාලන) පනත – 2026″ ලබන සඳුදා (මාර්තු 23) ලෝක් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නව පනත් කෙටුම්පත හරහා CAPF බලකායන්හි ඉහළ තනතුරු සඳහා ඉන්දීය පොලිස් සේවයේ (IPS) නිලධාරීන් අනුයුක්ත කිරීමේ ප්‍රතිශතයන් නිල වශයෙන් නීතිගත කිරීමට රජය සූදානම් වේ.
යෝජිත පනතට අනුව, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ADG) තනතුරුවලින් 67%ක් ද, නියෝජ්‍ය පොලිස්පති (IG) තනතුරුවලින් 50%ක් ද සහ විශේෂ අධ්‍යක්ෂ ජනරාල් (SDG) හා අධ්‍යක්ෂ ජනරාල් (DG) තනතුරු සියල්ලම (100%) IPS නිලධාරීන් සඳහා වෙන් කර ඇත. මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට මෙම පියවර අත්‍යවශ්‍ය බව රජයේ මතය වුවද, CAPF සංගම් මීට දැඩි විරෝධය පළ කරති. 2025 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව මෙලෙස IPS නිලධාරීන් බඳවා ගැනීම ක්‍රමයෙන් අඩු කළ යුතු වුවද, රජය මෙම පනත හරහා එම තීරණයට පටහැනිව කටයුතු කරන බවට එම සංගම් චෝදනා කරයි.














