ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය අතර දරුණු යුද ගැටුම් පවතින පසුබිමක, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පර්සියානු අලුත් අවුරුද්ද හෙවත් ‘නවුරුස්’ (Nowruz) උත්සවය වෙනුවෙන් ඉරාන නායකත්වයට සහ ජනතාවට සිය සුබපැතුම් එක් කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ මෙම අසීරු අවස්ථාවේදී මොස්කව් පාලනය ඉරානයේ “විශ්වාසවන්ත මිතුරෙකු සහ ස්ථාවර සහකරුවෙකු” ලෙස සැමවිටම පෙනී සිටින බවයි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සෙයියඩ් මොජ්තබා හොසයිනි කමේනි සහ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් පුටින් පවසා ඇත්තේ, පවතින දරුණු අභියෝග ජය ගැනීමට ඉරාන ජනතාවට ශක්තිය ප්‍රාර්ථනා කරන බවයි. පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇති රුසියාව, පසුගියදා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනය කිරීම ද දැඩිව විවේචනය කළේය. රුසියාව මේ දක්වා ඉරානයට මානුෂීය ආධාර පමණක් නිල වශයෙන් ලබා දී ඇතත්, ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සඳහා රුසියාව රහසිගතව යුද බුද්ධි තොරතුරු (Military Intelligence) ලබා දෙන බවට අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.













