මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම සලකා බලා, ස්වභාවික ගෑස් ගබඩා කිරීමේ ධාරිතාවය අඩු කරන ලෙස යුරෝපා සංගමය සිය සාමාජික රටවලට දැනුම් දී තිබේ. යුරෝපා බලශක්ති කොමසාරිස් ඩෑන් ජෝර්ගන්සන් විසින් නිකුත් කරන ලද විශේෂ ලිපියක් මඟින්, මීට පෙර සියයට 90ක්ව පැවති ගෑස් සංචිත ධාරිතාවය සියයට 80 දක්වා අඩු කරන ලෙස උපදෙස් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බාධා එල්ල වෙමින් පවතී. මෙම තත්ත්වය හමුවේ ලෝක තෙල් මිල බැරලයකට ඩොලර් 150 සීමාවට පැමිණීමත් සමඟ යුරෝපා රටවල් මෙලෙස සිය බලශක්ති කළමනාකරණ උපායමාර්ග වෙනස් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම ගෑස් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම් ජාලය ස්ථාවරව පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.














