ලෝක බලශක්ති සැපයුමේ ප්‍රධාන මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ජපන් නෞකාවන්ට යාත්‍රා කිරීමට පහසුකම් සැලසීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ප්‍රකාශ කර තිබේ. කියෝඩෝ පුවත් සේවය (Kyodo News) සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා නොමැති බවත්, ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ රටවල නෞකාවන්ට පමණක් සීමා පනවා ඇති බවත්ය. ජපානය සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මැදපෙරදිගින් ලබා ගන්නා බැවින්, ජපන් නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර මේ වන විට සාකච්ඡා පවතින බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි අග භාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු ඉරානය මේ වන විට ස්වයං ආරක්ෂාව සඳහා ක්‍රියා කරමින් සිටින බව පැවසූ අරග්චි මහතා, තාවකාලික සටන් විරාමයක් වෙනුවට යුද්ධයේ සම්පූර්ණ සහ ස්ථිර අවසානයක් අපේක්ෂා කරන බව ද අවධාරණය කළේය. ජපානයේ සාම්ප්‍රදායික “සමබර සහ සාධාරණ” ස්ථාවරය අගය කළ ඔහු, වත්මන් ආක්‍රමණශීලී තත්ත්වය අවසන් කිරීමට ජපානයට මැදිහත් විය හැකි බවට විශ්වාසය පළ කළේය. මේ අතර ටෝකියෝ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ සෘජුව සාකච්ඡා කිරීම හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කිරීමට ඇති වඩාත් ඵලදායී ක්‍රමය වුවද, එහිදී ඇමරිකාව අමනාප නොකර ගැනීමට වගබලා ගත යුතු බවයි.














