ලොව පුරා අතිශය ජනප්‍රිය වූ “Buffy the Vampire Slayer” රූපවාහිනී කතාමාලාවේ සැන්ඩර් හැරිස්ගේ චරිතයට පණ පෙවූ ඇමරිකානු ජාතික නළු නිකලස් බ්‍රෙන්ඩන් වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවේදනය කර ඇත්තේ ඔහු නින්දේදීම ස්වභාවික හේතූන් මත මෙලොව හැර ගිය බවයි. 1997 සිට 2003 දක්වා වසර හතක් පුරා ‘බෆී’ කතාමාලාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඔහු ඒ වෙනුවෙන් ‘සැටර්න්’ සම්මාන උළෙලේ දක්ෂතම නළුවා සම්මානය සඳහා තෙවරක්ම නිර්දේශ වූ දක්ෂයෙකි. රංගනයට අමතරව මෑත කාලයේදී ඔහු සිතුවම්කරණය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ අතර ඔහුගේ සමීපතමයින් පවසන්නේ ඔහුගේ චිත්‍ර කලාව ඔහුගේ පෞරුෂයේ සැබෑ පිළිබිඹුවක් වූ බවයි.
නිකලස් බ්‍රෙන්ඩන් සිය ජීවිත කාලය තුළ “Criminal Minds” සහ “Private Practice” වැනි ජනප්‍රිය නිර්මාණ රැසකට දායක වූ අතරම විවිධ සෞඛ්‍ය අභියෝගයන්ට ද මුහුණ දුන්නේය. හෘදයාබාධයකට සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත දුර්ලභ රෝගී තත්ත්වයකට (Cauda Equina Syndrome) මුහුණ දී සිටි ඔහු ගොත ගැසීමේ ස්වභාවයකින් ද පසු වූ අතර ඒ පිළිබඳ සමාජය දැනුවත් කිරීමට ද කැප විය. සිය ජීවිතයේ ඇතැම් කාලසීමාවලදී මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ මානසික සෞඛ්‍ය ගැටලු සමඟ සටන් කළ ද මිය යන විට ඔහු ඉතා සුබවාදී මානසිකත්වයකින් පසුවූ බව පවුලේ සාමාජිකයෝ සඳහන් කරති. ඔහුගේ අභාවය වෙනුවෙන් සමකාලීන රංගන ශිල්පිනියන් වන සාරා මිෂෙල් ගෙලර් සහ ඇලිසන් හැනිගන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සංවේදී ශෝකය පළ කර තිබේ.














