ඉරානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය සහ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්, එරට ඉතිහාසයේ ඉහළම අගය සහිත බැංකු නෝට්ටුව ලෙස රියාල් මිලියන 10ක (10 Million Rial) නව නෝට්ටුවක් සංසරණයට එක් කිරීමට ඉරාන මධ්‍යම බැංකුව පියවර ගෙන තිබේ. මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව නෝට්ටුව ඇමරිකානු ඩොලර් 7ක පමණ (රුපියල් 2,100ක් පමණ) සුළු අගයකින් යුක්ත වුවද, එදිනෙදා ගනුදෙනු පහසු කිරීම සඳහා මෙවැනි ඉහළ අගයකින් යුත් නෝට්ටු නිකුත් කිරීමට රජයට සිදුව ඇති බවයි.
2026 වසරේ මුල් මාස කිහිපය තුළ ඉරානයේ උද්ධමන වේගය 47.5%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 90%කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන රියාල් මුදල සීග්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතින අතර, මහජනතාව ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධති අක්‍රිය වේ යැයි පවතින බිය නිසා විශාල වශයෙන් මුදල් ඒකක (Cash) රැස් කිරීමට (Hoarding) පෙළඹී සිටිති. මේ හේතුවෙන් බැංකු පද්ධතිය තුළ දැඩි මුදල් හිඟයක් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මෙම ආර්ථික කඩා වැටීම හමුවේ ඉලොන් මස්ක් (Elon Musk) වැනි ප්‍රකෝටිපතියන් පවා සිය අවධානය යොමු කර ඇති අතර, ඇතැම් විචාරකයෝ පවසන්නේ ඉරානය තුළ දැන් “මිලියනපතියෙකු” වීම ඉතා පහසු වී ඇති බවයි. ඉරාන මධ්‍යම බැංකුව පවතින තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළද, යුද වියදම් සහ ජාත්‍යන්තර සම්බාධක හමුවේ එරට ආර්ථිකය දැඩි අස්ථාවර මට්ටමක පවතී. ඉදිරි මාස කිහිපය තුළ ඉරානයේ ජීවන වියදම තවදුරටත් ඉහළ යනු ඇති බවට ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.
උපුටා ගැනීම: Financial Times / Mario Nawfal














