ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන WindForce PLC, පානදුර ප්‍රදේශයේ මෙගාවොට් 10 ක (10 MW/40 MWh) ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (BESS) ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 1.73 ක ආයෝජනයකින් හිමිකරගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය “ඉදිකිරීම්-හිමිකාරිත්වය-මෙහෙයවීම” (Build-Own-Operate – BOO) ආකෘතිය යටතේ ක්‍රියාත්මක වන අතර, එහි සම්පූර්ණ අයිතිය WindForce PLC සතු වේ.
වසර 15 ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සහ උපරිම ඉල්ලුම පවතින අවස්ථාවන්හිදී (Peak demand) විදුලි සැපයුම කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට ඉවහල් වනු ඇත. පානදුර ව්‍යාපෘතිය ද සමඟින් ජාතික ප්‍රසම්පාදන වැඩපිළිවෙළ යටතේ WindForce සතු සමස්ත බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘති සංඛ්‍යාව 13 දක්වා ඉහළ යයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස රජය විසින් රාජ්‍ය ආයතන වෙත නව මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර, ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක සිදුවූ පිපිරීම සහ මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් උච්චාවචනය වන පසුබිමක වීම විශේෂත්වයකි. මෙවැනි පුනර්ජනනීය බලශක්ති ගබඩා පද්ධති මඟින් ඉදිරියේදී මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.












