කොලොම්බියාවේ පුවර්ටෝ ලෙගුයිසාමෝ (Puerto Leguizamo) ප්‍රදේශයේදී පුද්ගලයින් 128 දෙනෙකු රැගත් “හර්කියුලිස් C-130” වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (සඳුදා) අනතුරට පත්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුවන්ගත වී සුළු මොහොතකින් ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි පිට්ටනියකට මෙම යානය කඩා වැටී ඇති අතර, ඉන් හමුදා නිලධාරීන් 57 දෙනෙකු බේරා ගැනීමට හැකි වී ඇති බව කොලොම්බියානු සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් හියුගෝ ඇලෙක්සැන්ඩ්‍රෝ ලෝපෙස් බැරේටෝ (Hugo Alejandro López Barreto) මහතා තහවුරු කළේය.
යානය කඩා වැටීමත් සමඟ එහි විශාල ගින්නක් හටගෙන ඇති අතර, යානය තුළ තිබූ යම් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ද පිපිරීමට ලක්ව ඇති බව වාර්තා වේ. ප්‍රාදේශීය වැසියන් සහ ආරක්ෂක අංශ එක්ව ගින්න නිවීමට සහ තුවාලකරුවන් මෝටර් සයිකල් ආධාරයෙන් රෝහල් කරා රැගෙන යාමට කටයුතු කර ඇත. ගුවන් හමුදාපති කාලෝස් ප්‍රනාන්දු සිල්වා (Carlos Fernando Silva) මහතා ප්‍රකාශ කළේ යානය ගුවන්ගත වීමේදී යම් තාක්ෂණික දෝෂයකට ලක්ව ඇති බවත්, එය ගුවන් පථය අවසානයේ ගසක පියාපතක් වැදීමෙන් කඩා වැටෙන්නට ඇති බවට සැක කරන බවත්ය.
මෙම යානය 2020 වසරේදී ඇමරිකාව විසින් කොලොම්බියාවට පරිත්‍යාග කරන ලද්දක් බව ආරක්ෂක අංශ වාර්තා පෙන්වා දෙයි. මෙය කිසියම් සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව ජෙනරාල් බැරේටෝ අවධාරණය කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය වශයෙන් ගුවන් ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති මොහොතක, කොලොම්බියාවේ සිදුවූ මෙම අවාසනාවන්ත අනතුර එරට හමුදා ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරක් ලෙස සලකනු ලැබේ.














