ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමේ අරමුණින්, රුපියල් 5,000කට අඩු LankaQR ගනුදෙනු සඳහා අය කරනු ලබන සියලුම අමතර ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
2026 අයවැය යෝජනාවලට අනුගතව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, අදාළ සීමාවට යටත් ගනුදෙනුවලදී මුදල් යවන්නාට මෙන්ම වෙළෙඳුන්ට ද කිසිදු අමතර ගාස්තුවක් අයකිරීම සිදු නොකෙරේ. 2025 වසරේ දත්ත වාර්තාවලට අනුව LankaQR හරහා සිදු වූ සාමාන්‍ය ගනුදෙනුවක වටිනාකම රුපියල් 5,000කට වඩා අඩු මට්ටමක පැවතීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
දැනට මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකථන යෙදුම් 30කට ආසන්න ප්‍රමාණයක් LankaQR පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති අතර, මෙම නව සහනය හරහා එහි සක්‍රීය භාවිතය තවදුරටත් ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි. මෙය මෙරට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයන්ට ද විශාල සහනයක් වනු ඇත.














