ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (First Capital Holdings PLC), ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී (Janashakthi Insurance PLC) සහ ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (Janashakthi Finance PLC) යන මූල්‍ය ආයතනවල මව් සමාගම වන JXG සමාගම, රුපියල් බිලියන 5ක වටිනාකමකින් යුත් මූලික කොටස් නිකුතුවක් (IPO) දියත් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නිකුතුව යටතේ JXG සමාගම රුපියල් 10.00 බැගින් සාමාන්‍ය කොටස් මිලියන 500ක් මහජනතාව වෙත ඉදිරිපත් කරන අතර, එය කොටස් නිකුතුවෙන් පසු සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 21.74%ක නියෝජනයකි. ඩෙලොයිට් ශ්‍රී ලංකා (Deloitte Sri Lanka) ආයතනය විසින් සිදුකරන ලද ස්වාධීන තක්සේරුවට අනුව JXG කොටසක වටිනාකම රුපියල් 15.92ක් ලෙස තක්සේරු කර ඇති බැවින්, මෙම කොටස් නිකුතුව එම අගයට වඩා 37.18%ක සැලකිය යුතු වට්ටමක් සහිතව ආයෝජකයන් වෙත ඉදිරිපත් කර ඇත.
මෙම කොටස් නිකුතුව හරහා රැස්කර ගැනීමට අපේක්ෂිත ප්‍රාග්ධනය ප්‍රධාන අරමුණු කිහිපයක් වෙනුවෙන් යෙදවීමට සමාගම සැලසුම් කර තිබේ. ඉන් රුපියල් බිලියන 3.5ක් සාමාන්‍ය රක්ෂණ, ක්ෂුද්‍ර මූල්‍ය සහ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයන්හි ව්‍යාප්තිය සඳහා වෙන් කර ඇත. තවත් රුපියල් මිලියන 500ක් ආයෝජන බැංකුකරණය, රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රයන් යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැරව කලාපීය වශයෙන් ව්‍යාප්ත වීම සඳහා යොදවනු ඇත. ඉතිරි රුපියල් බිලියන 1ක මුදල ණය පියවීම, ප්‍රාග්ධන ව්‍යුහය ප්‍රශස්ත කිරීම සහ මූල්‍ය නම්‍යශීලීභාවය ඉහළ නැංවීම සඳහා භාවිත කිරීමට නියමිතය. මෙම කොටස් නිකුතුව 2026 අප්‍රේල් මස 09 වැනිදා විවෘත වීමට නියමිත අතර, එහි කළමනාකරු සහ මූල්‍ය උපදේශක ලෙස ෆස්ට් කැපිටල් ඇඩ්වයිසරි සර්විසස් (පෞද්ගලික) සමාගම කටයුතු කරයි.
JXG සමූහ සභාපති චන්දන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, මෙම කොටස් නිකුතුව සමාගමේ ගමනේ ඓතිහාසික පියවරක් වන අතර එමඟින් විනිවිදභාවය, වගවීම සහ යහපාලනය තවදුරටත් ශක්තිමත් වන බවයි. JXG කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා සඳහන් කළේ, රක්ෂණ, ආයෝජන බැංකුකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රයන් එකම අනන්‍යතාවයක් යටතේ ඒකාබද්ධ කරමින් අනාගතයට ගැලපෙන මූල්‍ය සමූහයක් ගොඩනැඟීම සිය අරමුණ බවයි. ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමත් සමඟ කොටස් හිමියන්ට, නියාමන ආයතනවලට සහ මහජනතාවට ඉහළම මට්ටමේ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට JXG කැපවී සිටින අතර, දැනටමත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් අධීක්ෂණයකින් යුක්ත වේ.














