මැදපෙරදිග කලාපයේ වේගයෙන් වර්ධනය වන යුදමය වාතාවරණය සහ ඉන් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් අද (24) රාත්‍රියේ පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන පරිදි, මෙම සංවාදයේදී නායකයන් දෙපළ ලෝක බලශක්ති සැපයුම් ජාලයට එල්ල වී ඇති බාධා සහ ඉන් කලාපීය ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබේ.
මෙම හමුවේදී ඉන්දු-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන වැඩපිළිවෙළවල ප්‍රගතිය ද නායකයන් දෙපළ විසින් සමාලෝචනය කරන ලදී. විශේෂයෙන්ම කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ නව අභියෝග ජය ගැනීම සඳහා දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. සමීප සහ විශ්වාසවන්ත මිතුරන් ලෙස, පොදු අභියෝග හමුවේ ඉතා සමීපව කටයුතු කිරීමට ඇති කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී යළිත් තහවුරු කර ඇත.
පවතින ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සහතික වී තිබේ. මෙම ඉහළ පෙළේ රාජතාන්ත්‍රික සාකච්ඡාව හරහා දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් වන අතර, මැදපෙරදිග අර්බුදය හමුවේ ඇතිවිය හැකි ඉන්ධන සහ බලශක්ති ගැටලුවලට සාමූහිකව මුහුණ දීමට ඇති සූදානම ද මෙයින් මැනවින් විදහා දැක්වේ.














