එප්පාවල, සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක් අසලට අද (24) පැමිණි අඩි 10ක් පමණ දිගැති දැවැන්ත කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන් වෙත භාර දී තිබේ. මෙම උරගයා ප්‍රථමයෙන් දැක ඇත්තේ ඊයේ රාත්‍රියේ තලාව – එප්පාවල ප්‍රධාන මාර්ගය අසලදීය. පසුව අද උදෑසන නිවසක් ආසන්නයටම පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් එක්ව සත්වයා මෙල්ල කර ගැනීමට සමත් විය.
වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම කිඹුලා අද පෙරවරු 10:00ට පමණ විල්පත්තු ජාතික වනෝද්‍යානය වෙත රැගෙන ගොස් මුදා හැරීමට පියවර ගෙන ඇත. ප්‍රදේශයේ පවතින වැවකින් මෙම කිඹුලා ගොඩට පැමිණෙන්නට ඇති බව ගම්වැසියන් සැක පළ කරති. පවතින වියළි කාලගුණය හෝ ජල මූලාශ්‍රවල සිදුවන වෙනස්කම් හේතුවෙන් මෙලෙස කිඹුලන් ජනාවාස වෙත පැමිණීමේ අවදානමක් පවතින බැවින් ප්‍රදේශවාසීන්ට අවධානයෙන් පසුවන ලෙස වනජීවී නිලධාරීහු උපදෙස් දෙති.














