අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු සහ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් මාර්තු මාසය සඳහා වන දීමනාව ගෙවන දිනය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අදාළ ගෙවීම් හෙට, එනම් මාර්තු මස 26 වැනි දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
මෙම ගෙවීම් යටතේ පළමු අදියරේ වැඩිහිටි ප්‍රතිලාභීන් 622,462 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.1කට අධික මුදලක් ද, දෙවන අදියරේ ප්‍රතිලාභීන් 71,339 දෙනෙකු සඳහා රුපියල් මිලියන 356කට අධික මුදලක් ද වෙන් කර ඇත. මාර්තු 26 වැනි දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ අස්වැසුම ගිණුම් පවතින බැංකු ශාඛා මගින් මෙම මුදල් ලබාගත හැකි අතර, උත්සව සමයට පෙර මෙම දීමනාව ලබා දීම හරහා වැඩිහිටි ප්‍රජාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට රජය පියවර ගෙන තිබේ.














