ඉදිරි උත්සව සමය සහ පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාර්යබහුල කාලසීමාව තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රාත්‍රී කාලයේ විදුලි උත්පාදනය සඳහා වැඩි පිරිවැයක් දරමින් ඉන්ධන භාවිතා කිරීමට සිදුවන බැවින් එක් විදුලි බුබුළක් හෝ නිවා දමා සහයෝගය දැක්වීම ජනතාවගේ වගකීමක් බවයි.
විදුලි කප්පාදුවක් සිදුකිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, මැයි මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් අමාත්‍යවරයා මෙහිදී සහතික විය. රජයේ මූලික අරමුණ වන්නේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් අඛණ්ඩව විදුලිය සහ ඉන්ධන සැපයීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර ජාතික පද්ධති සැලසුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බුද්ධික සමරකෝන් මහතා ද ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් මස අවසානය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි.














