ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තීරණාත්මක අදියරකට එළැඹ ඇති පසුබිමක ඇමෙරිකානු හමුදාවේ ප්‍රභූ ඒකකයක් වන 82 වන ගුවන් සංක්‍රමණික බලකායේ (82nd Airborne Division) සෙබළුන් මැදපෙරදිග කලාපය වෙත යෙදවීමට වොෂින්ටනය තීරණය කර තිබේ. අද (2026 මාර්තු 25) දිනැති පුවත් වාර්තාවලට අනුව මෙම බලකායේ සෙබළුන් 1,000ත් 2,000ත් අතර පිරිසක් ඉදිරි දින කිහිපය තුළ කලාපය වෙත ළඟා වීමට නියමිතය. ලොව ඕනෑම ස්ථානයකට පැය කිහිපයක් ඇතුළත ළඟා විය හැකි ඇමෙරිකානු හමුදාවේ වඩාත්ම වේගවත් ප්‍රතිචාර දක්වන ඒකකයක් ලෙස 82 වන බලකාය සැලකෙන අතර මෙහි අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් බ්‍රැන්ඩන් ටෙග්ට්මෙයර් ද මෙම මෙහෙයුමට සෘජුවම එක්ව සිටියි.
ඇමෙරිකාව එක්පසෙකින් ඉරානය සමඟ සාම සාකච්ඡා පිළිබඳ ඉඟි පළ කරන අතරතුර අනෙක් පසින් මෙලෙස හමුදා ශක්තිය වර්ධනය කිරීම හරහා ඉරානයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ ද්විත්ව උපායමාර්ගයක් අනුගමනය කරයි. දැනටමත් කලාපය වෙත ගමන් කරමින් සිටින දහස් සංඛ්‍යාත මැරීන් භටයින්ට අමතරව මෙම නව බලකාය ද එක්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම් තවදුරටත් පුළුල් වනු ඇත. මෙම ප්‍රභූ බලකාය යෙදවීම හුදෙක් ආරක්ෂක පියවරක් ද නැතිනම් ඉරානයට එරෙහි සෘජු ප්‍රහාරයක් සඳහා සූදානම් වීමක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ආරක්ෂක විචාරකයින් අතර දැඩි අවධානයක් යොමුව තිබේ. විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අතර යුද්ධයේ ඉදිරි පියවර පිළිබඳව මතභේදාත්මක අදහස් පළ වන පසුබිමක මෙම තීරණය ඉතා වැදගත් වේ.













