මෙරට ඖෂධ මිල ගණන් ඉදිරියේදී ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. විදේශ විනිමය අනුපාත ඉහළ යාම, නිෂ්පාදන වියදම් සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් දැනට මිල පාලනයට යටත් කර ඇති ඖෂධ වර්ග 60ක මිල අවම වශයෙන් සියයට හතකින් (7%) වත් ඉහළ නංවන ලෙස ඉල්ලමින් ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ අදාළ ඖෂධ 60 සඳහා මිල පාලනය පැනවූ අවස්ථාවේ රුපියල් 295ක්ව පැවැති ඇමෙරිකානු ඩොලරයේ අගය ඊයේ (24) වන විට රුපියල් 317.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ නිසා ඖෂධ ආනයනයේදී අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර, නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු සහ ඉදිරියේදී ඉහළ යාමට නියමිත විදුලි ගාස්තු ද මෙම මිල සංශෝධනයට බලපාන බව ඔහු සඳහන් කළේය. දැනට මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 1,800ක් පමණ ආනයනය කෙරෙන අතර ඒ සියල්ලටම මෙම පිරිවැය ඉහළ යාම බලපානු ඇත.
මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ද සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ වර්ග 250ක මිල ඉහළ දැමීමට අවසර දෙන ලෙසයි. ඖෂධ ඇසුරුම් සහ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව දේශීය සමාගම් 13ක් නියෝජනය කරන එම සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විචාරකයෝ බිය පළ කරති.














