මෙරට නිල රජයට යටින් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය, පාතාලය සහ නීති විරෝධී ගිනිඅවි ජාවාරම යන “කළු ආණ්ඩුව” සහ එහි සමස්ත සැපයුම් ජාලය මුළුමනින්ම බිඳ දැමීමට වත්මන් රජය සමත්ව ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. මෙම නීති විරෝධී ව්‍යාපාර ජාලය මෙරට සමාජයේ ඇටමිදුළු දක්වා විහිදී ඇති බවත්, මත්ද්‍රව්‍ය සහ පාතාලය එකිනෙකට බද්ධ වී පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම පසුගිය පාලන සමයන්හි දේශපාලන අධිකාරියේ සෘජු මැදිහත්වීම සහ ආරක්ෂාව මෙම ජාලය මෙතරම් ශක්තිමත් වීමට ප්‍රධානතම හේතුව වූ බව ඔහු අනාවරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඇතැම් දේශපාලනඥයන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් ලබාගෙන ඇත්තේ ද මෙම කළු බිස්නස් හරහා බවයි. එම හේතුව නිසාම මීට පෙර පැවති ආණ්ඩුවලට මෙම ජාලයට අත තැබීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, වත්මන් රජය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ඉන්දුනීසියාව, නේපාලය සහ පකිස්ථානය වැනි රටවලට පවා ගොස් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ප්‍රබලතම සැපයුම්කරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධකරුවන් මේ වන විටත් පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇති බවත්, එම හෙළිදරව් කිරීම් හමුවේ ඔවුන් සමඟ රහසිගත සබඳතා පැවැත්වූ ඇතැම් පාර්ශව දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවත් සුනිල් වටගල මහතා අවධාරණය කළේය. රජයේ මීළඟ ඉලක්කය වන්නේ මෙම අපරාධ ජාලයේ ඉතිරිව ඇති ඉහළම පුරුක් නීතිය හමුවට පමුණුවා රට තුළ සාමය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි.














