වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ නම සහ නිල ඇඳුමින් සැරසුණු ඡායාරූප අවභාවිත කරමින් දිවයින පුරා ව්‍යාපාරිකයන් සහ ආගමික නායකයන් රවටා මුදල් ගැරූ පුද්ගලයෙකු අද (25) බණ්ඩාරගම අධිවේගී මාර්ග පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. “තුසිත බ්‍රහ්මරත්න” නැමති මෙම සැකකරු මීට පෙර ද මත්ද්‍රව්‍ය ජාවාරම්, කොල්ලකෑම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
සැකකරු විසින් WhatsApp ගිණුමකට වලාන ස්ථානාධිපතිවරයාගේ ඡායාරූපයක් යොදාගෙන අම්බලන්ගොඩ, රත්නපුර, පානදුර සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ව්‍යාපාරිකයන් අමතා ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියා තමන් සතුව ඇති බව පවසා බියගන්වා රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇත. මීට අමතරව, ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා දානමය පුණ්‍යකර්ම සඳහා රවටා, ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු සහ OTP අංක ලබාගෙන එම ගිණුම්වල ඇති මුදල් ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) හරහා සිය ‘VOLAT’ ගිණුමට බැර කර ගැනීමට ඔහු කටයුතු කර තිබේ.
අද දින ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී වලාන දූෂණ මර්දන ඒකකයේ විශේෂ කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගත් අතර, ඒ වන විට ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම සාර්ථක වැටලීම සිදු කෙරිණි. මහජනතාවට සහ ව්‍යාපාරිකයන්ට පොලිසිය දැනුම් දෙන්නේ මෙවැනි දුරකථන ඇමතුම් හරහා බැංකු රහස්‍ය අංක ලබාදීමෙන් වළකින ලෙසයි.














