මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝකය පුරා හටගෙන ඇති බලශක්ති අභියෝග ජය ගැනීම සඳහා රුසියාවේ සහය ලබාගැනීමේ අරමුණින් රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා අද (26) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. මෙම සංචාරය මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම පැමිණීම පසුගියදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා සහ මෙරට රුසියානු තානාපතිවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවල ප්‍රතිඵලයකි. මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජතෙල් සහ ගල්අඟුරු අඛණ්ඩව සපයා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නාවික ගමන් මාර්ග අවහිර වීම නිසා ඇති වී තිබෙන සැපයුම් දාම බාධාවන්ට විකල්පයක් ලෙස රුසියාවෙන් සහනදායී පදනමක් මත බලශක්ති ප්‍රභවයන් ලබාගැනීම මෙහි ප්‍රධාන ඉලක්කය වී තිබේ.














