ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින පුරා සිටින ධීවර ජනතාව වෙත විශේෂ දැනුවත් කිරීමක් සිදු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපායශීලී සැලසුම්වලට හසු නොවන ලෙසත් විශේෂයෙන්ම බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් දරන උත්සාහයන් වැළැක්වීමට සහය වන ලෙසත් ඉල්ලා සිටියි. කෙටි කලකින් අධික මුදලක් ලබා දෙන බව පවසමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට කරන ඇරයුම්වලට නොරැවටෙන ලෙසත් තමන්ගේ ධීවර යාත්‍රාව හෝ බලපත්‍රය වෙනත් පුද්ගලයන්ට ලබා දීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව දැඩිව විමසිලිමත් වන ලෙසත් නාවික හමුදාව ධීවරයින්ට අවධාරණය කරන අතර ගැඹුරු මුහුදේදී වෙනත් යාත්‍රා මගින් සැකකටයුතු පාර්සල් හෝ භාණ්ඩ හුවමාරු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳව වහාම බලධාරීන් දැනුවත් කරන ලෙස ද දන්වා සිටියි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම නිසා යාත්‍රාව රාජසන්තක වීම මෙන්ම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් වැනි දැඩි නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව මතක තබා ගත යුතු අතර මුහුදේදී හෝ වෙරළාසන්න ප්‍රදේශවල සිදුවන ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව 105, 1818 හෝ 1997 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














