මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට බේකරි නිෂ්පාදකයින් මුහුණ දෙන අර්බුද සහ නිෂ්පාදන මිල ගණන් ඉහළ යාම පිළිබඳව සොයා බැලීම සඳහා බේකරි හිමිකරුවන් අද (26) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි. වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පසුගිය සතියේ සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට බලපෑ හේතු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර බේකරි උඳුන් සඳහා ඩීසල් භාවිත කිරීම නිසා ඉන්ධන මිල ඉහළ යාම තම නිෂ්පාදන පිරිවැයට සෘජුවම බලපෑම් එල්ල කර ඇති බව බේකරි හිමියන් මෙහිදී පෙන්වා දුන්හ.
එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් තිරිඟු පිටි මිල ඉහළ නොදමන බවට පිටි සමාගම් ලබාදී ඇති පොරොන්දුව සිහිපත් කළ අමාත්‍යවරයා, ඉදිරියේදී පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ ගියහොත් නිෂ්පාදන මිල යළි වැඩි කරන්නේදැයි ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන් ප්‍රකාශ කළේ එවැනි සුළු මිල ඉහළ යාමකදී පාරිභෝගිකයා මත බර පටවමින් නිෂ්පාදන මිල වැඩි නොකරන බවයි. තවද සෞඛ්‍යයට අහිතකර ෆාම් ඔයිල් අඩංගු මාගරින් වෙනුවට බටර් භාවිතය දිරිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අවධානය යොමු කළ අමාත්‍යවරයා, බටර් සඳහා පවතින ආනයනික බදු සංශෝධනය කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නේය.













