බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ද මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (27) දිනයේ ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද දිනයේ වැඩිම උණුසුම රත්නපුර ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 36.5 ක් ලෙස වාර්තා වූ අතර කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවලින් සෙල්සියස් අංශක 36 ක උණුසුමක් වාර්තා වී තිබේ. කොළඹ නගරයේ උණුසුම සෙල්සියස් අංශක 32.5 ක් ලෙස සටහන් විය.
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර, මෙය ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය කටයුතුවලට මෙන්ම සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත. සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙයි. විශේෂයෙන්ම වැඩිහිටියන් සහ රෝගීන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, කුඩා ළමයින් සංවෘත වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් අවධාරණය කෙරේ. අධික වෙහෙසකාරී කටයුතු සීමා කරමින්, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම මෙවැනි කාලගුණික තත්ත්වයකදී වඩාත් යෝග්‍ය වේ.














