ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ගත් තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම සංගමයේ නියෝජිතයන් අද (2026 මාර්තු 26) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි.
තිරිඟු පිටි මිල එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තෙක් වැඩි නොකරන බවට පිටි සමාගම් ලබා දී ඇති පොරොන්දුව පිළිබඳව මෙහිදී වෙළෙඳ අමාත්‍යවරයා සිහිපත් කළේය. අලුත් අවුරුද්දෙන් පසුව පිටි මිල ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල යළිත් වැඩි කරන්නේදැයි අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන් සඳහන් කළේ තිරිඟු පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ ගියහොත් නිෂ්පාදන මිල වැඩි නොකර සිටීමට පියවර ගන්නා බවයි.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.














