ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග මධ්‍යයේ, ලෝක වෙළෙඳපොළ තුළ රුසියානු තෙල් සඳහා පවතින ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ රුසියාව දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 760කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 23,800ක්) අධික දැවැන්ත ආදායමක් උපයමින් සිටින බව අනාවරණය වී තිබේ. මාර්තු මාසය අවසාන වන විට රුසියාව ඩොලර් බිලියන 3.3 සිට 4.9 දක්වා අතිරික්ත ලාභයක් අත්පත් කරගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.
මෙම ආදායම් වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා ඇමෙරිකාව විසින් රුසියානු තෙල් මත පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගැනීමයි. ඒ අනුව, මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදන අප්‍රේල් 11 වනදා දක්වා මිලදී ගැනීමට ලොව පුරා රටවලට මේ වන විට අවස්ථාව උදාවී තිබේ. සම්බාධක ලිහිල් කිරීමේ වාසිය සෘජුවම රුසියානු ආර්ථිකයට ලැබෙමින් පවතින අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙමඟින් විශාල දේශපාලනික සහ මූල්‍යමය වාසියක් අත්පත් කරගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රුසියානු ආර්ථික විද්‍යා වාර්තාවලට අනුව, මෙම මාසය අවසාන වන විට තෙල් හා ගෑස් අලෙවියෙන් රුසියාව ලබන ආදායම ඩොලර් බිලියන 12 සිට ඩොලර් බිලියන 24 දක්වා දෙගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගින්න හමුවේ ලෝකයේ අනෙකුත් බලශක්ති ප්‍රභවයන් අවහිර වීම, රුසියාවට සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනපේක්ෂිත අවස්ථාවක් ලෙස විචාරකයෝ හඳුන්වා දෙති.















