පසුගිය ඉරිදා (2026 මාර්තු 22) නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන් තොටුපළේදී සිදුවූ දරුණු ගුවන් අනතුරෙන් මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කරමින් නිකුත් කළ වීඩියෝවක ප්‍රංශ භාෂාව භාවිතා නොකිරීම හේතුවෙන් එයාර් කැනඩා ප්‍රධාන විධායක නිලධාරී මයිකල් රූසෝ (Michael Rousseau) දැඩි දෝෂාරෝපණයට ලක්ව සිටී. මිනිත්තු හතරක එම වීඩියෝව පුරා ඔහු භාවිතා කර තිබුණේ “Bonjour” (ආයුබෝවන්) සහ “Merci” (ස්තූතියි) යන ප්‍රංශ වචන දෙක පමණක් වීම මෙම මතභේදයට හේතුවයි.
මෙම සිදුවීමත් සමඟ කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) සහ ක්විබෙක් ප්‍රාන්ත මහ ඇමතිවරයා රූසෝගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි අතර, ඔහුට ප්‍රංශ භාෂාව හැසිරවීමට නොහැකි වීම ලැජ්ජා සහගත කරුණක් බව පෙන්වා දුන්නේය. අනතුරෙන් මියගිය ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ඇන්ටොයින් ෆොරස්ට් (Antoine Forest) ප්‍රංශ භාෂාව කථා කරන ක්විබෙක් වැසියෙකු වීම ද මෙම විවේචන දැඩි වීමට බලපා ඇත.
තමන්ට ප්‍රංශ භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඊයේ (2026 මාර්තු 26) නිල වශයෙන් සමාව අයැද සිටි රූසෝ, එයින් මියගිය අයගේ පවුල්වල ශෝකය යටපත් වීම ගැන කණගාටු වන බවත්, භාෂාව ඉගෙන ගැනීමට තවදුරටත් උත්සාහ කරන බවත් ප්‍රකාශ කළේය. එයාර් කැනඩා මූලස්ථානය පිහිටා ඇත්තේ ප්‍රංශ භාෂාව ප්‍රධාන භාෂාව ලෙස භාවිතා වන මොන්ට්‍රියල් (Montreal) නුවරයි.














