අයිෆෝන් (iPhone) පරිශීලකයින් සඳහා මෙතෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට පමණක් සීමා වී තිබූ සුවිශේෂී පහසුකම් රැසක් ඇතුළත් කරමින් වට්ස්ඇප් (WhatsApp) ආයතනය සිය නවතම යාවත්කාලීන කිරීම නිකුත් කර තිබේ. මෙමගින් මින් ඉදිරියට එකම අයිෆෝන් උපාංගයක් තුළ වට්ස්ඇප් ගිණුම් දෙකක් (Accounts) පවත්වාගෙන යාමේ හැකියාව උදාවන අතර, එමඟින් පෞද්ගලික සහ රාජකාරි කටයුතු සඳහා වෙන වෙනම දුරකථන භාවිතා කිරීමේ අවශ්‍යතාව මගහැරී යනු ඇත.
මෙම නව යාවත්කාලීන කිරීම හරහා මෙටා (Meta) ආයතනයේ කෘතිම බුද්ධි (AI) මෙවලම් ද වට්ස්ඇප් වෙත සෘජුවම සම්බන්ධ කර තිබේ. එමඟින් ඡායාරූප යැවීමට පෙර ඒවායේ පසුබිම් වෙනස් කිරීමටත්, අනවශ්‍ය කොටස් ඉවත් කිරීමටත් පහසුවෙන් හැකියාව ලැබේ. මීට අමතරව ‘AI Writing Help’ පහසුකම හරහා ලැබෙන පණිවිඩවල ස්වභාවය අනුව ඉක්මනින් පිළිතුරු සැපයිය හැකි වැකි (Suggestions) ද කෘතිම බුද්ධිය මඟින් යෝජනා කරනු ඇත.
පරිශීලක රහස්‍යභාවය සුරකිමින් සිදුකර ඇති මෙම යාවත්කාලීනයේදී දත්ත කළමනාකරණය සඳහා ද නව පහසුකම් එක්කර තිබේ. ඒ අනුව චැට් (Chat) ඉතිහාසය මකා නොදමා එහි ඇති විශාල ප්‍රමාණයේ ගොනු සහ මාධ්‍ය ගොනු (Media Files) පමණක් වෙන් වෙන් වශයෙන් සොයා මකා දැමීමට දැන් හැකියාව පවතී. මෙම නව විශේෂාංග හරහා වට්ස්ඇප් පරිශීලකයින්ට වඩාත් කාර්යක්ෂම සහ නවීන සන්නිවේදන අත්දැකීමක් ලබාදීමට මෙටා සමාගම අපේක්ෂා කරයි.














