ඉරානයේ මිනාබ් නගරයේ පිහිටි ‘ෂජාරා තයියෙබේ’ (Shajarah Tayyebeh) ප්‍රාථමික පාසල ඉලක්ක කරගනිමින් ඇමරිකාව එල්ල කළ ටොමහෝක් (Tomahawk) මිසයිල ප්‍රහාරය හුදෙක් වැරදීමකින් සිදුවූවක් නොව, එය සැලසුම් සහගතව සිදුකළ මානුෂීය විරෝධී අපරාධයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා පවසයි. මෙම ප්‍රහාරයෙන් සිසුන් සහ ගුරුවරුන් 175 දෙනෙකු ඉතා අමානුෂික ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එය “ගණනය කරන ලද ප්‍රහාරයක්” බවත් ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය ලොව දියුණුම යුද තාක්ෂණයන් සතු බව පවසන පසුබිමක, පාසලක් වැනි සිවිල් ස්ථානයකට මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම අත්වැරදීමක් ලෙස පිළිගත නොහැකි බවයි. මැදපෙරදිග යුද්ධයට මාසයක් සපිරෙන අද (මාර්තු 27) දින ඔහු මෙම ප්‍රකාශය සිදුකරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය මේ වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම සිදුවීම හුදු සිදුවීමක් (Incident) ලෙස බැහැර කළ නොහැකි බවත්, එය හිතාමතාම සිදුකළ සමූල ඝාතනයක් බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පවතින යුදමය වාතාවරණය හමුවේ සිවිල් වැසියන් සහ දරුවන් ඉලක්ක කරගනිමින් එල්ල වන මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.
















