සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර (Prince Sultan Air Base) ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානා කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත උපුටා දක්වමින් මෙම පුවත ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ අවම වශයෙන් යානා පහකට පමණ හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු ඉන්ධන පිරවුම් බලඇණියේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි.
ඇමරිකානු නිලධාරීන් පවසන පරිදි මෙම යානා මුළුමනින්ම විනාශ වී නොමැති අතර, ඒවා මේ වන විට අලුත්වැඩියා කරමින් පවතී. මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති වුවද, ගුවන් මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන මෙවැනි ඉන්ධන පිරවුම් යානා අනතුරට පත්වීම ඇමරිකානු ගුවන් මෙහෙයුම්වලට එල්ල වූ දැඩි බලපෑමක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය විසින් මෙය හඳුන්වා දී ඇත්තේ “True Promise 4” මෙහෙයුමේ 84 වන අදියර ලෙස වන අතර, තම කලාපීය කඳවුරු භාවිත කරමින් සිදු කරන ඇමරිකානු මැදිහත්වීම්වලට මෙය නිසි පිළිතුරක් බව ඔවුන් පවසයි.
මෙම සිදුවීමත් සමඟ මෑතකදී ඉරාකයේදී සිදුවූ තවත් KC-135 යානයක අනතුර ද ඇතුළුව ඇමරිකානු ඉන්ධන පිරවුම් යානා බලඇණියේ සැලකිය යුතු පසුබෑමක් දක්නට ලැබේ. සෞදි අරාබියේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ ඇමරිකානු රජය සිය තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන සේවකයින්ට එරටින් පිටවන ලෙස ද දැනටමත් නියෝග කර තිබේ. කලාපීය යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, උපායමාර්ගික වශයෙන් වැදගත් වන මෙවැනි හමුදා මර්මස්ථාන ඉලක්ක වීම ජාත්‍යන්තර අවධානයට දැඩිව යොමු වී ඇත.
උපුටා ගැනීම: @clashreport














