යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් නැවැත්වීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු එම රථයට යටවීමෙන් අද (28) පෙරවරුවේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. කොඩිකාමම් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් අදාළ ට්‍රැක්ටර් රථයට නවත්වන ලෙස අණ කර ඇතත්, රියදුරු එම අණ නොතකා නිලධාරීන් ද යටකරමින් ට්‍රැක්ටරය වේගයෙන් ධාවනය කර පලාගොස් ඇත. මෙම මාරක අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු පලාගිය රියදුරු සහ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය සහ කොඩිකාමම් පොලිස් ස්ථාන මඟින් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙහෙයුම් ආරම්භ කර තිබේ. උතුරු පළාතේ නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන් මෙලෙස පොලිස් අණ නොතකා කටයුතු කිරීමේ සිදුවීම් මීට පෙර ද කිහිප වතාවක් වාර්තා වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ. මියගිය නිලධාරියාගේ දේහය මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.














