පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු රහසිගත තොරතුරක් මත පංචිකාවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බවට සැක කෙරෙන 34 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 710කට අධික ප්‍රමාණයක්, හෙරොයින් ග්‍රෑම් 934ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව මත්පෙති 300ක්, මත්ද්‍රව්‍ය කිරුම් කටයුතු සඳහා භාවිත කළ විද්‍යුත් තරාදියක් සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද ඇය සතු නිවසේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 859,730ක මුදලක් සහ ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ ජංගම දුරකථන 06ක් ද පොලිස් භාරයට ගෙන ඇත. පංචිකාවත්ත ප්‍රදේශයේම පදිංචිකාරිනියක වන මෙම සැකකාරිය අද (28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන ප්‍රධාන සංවිධානාත්මක අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීමට සැලසුම් කර තිබූ ස්ථාන පිළිබඳව පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















