අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට මාසයක කාලයක් සපිරෙමින් පවතින පසුබිමක, ඉරානය සතු දැවැන්ත මිසයිල ගබඩාවෙන් විනාශ වී ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව අමෙරිකානු බුද්ධි අංශ ආරංචි මාර්ග උපුටමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඉරානයේ මිසයිල අවි ගබඩාවෙන් තවත් සැලකිය යුතු ප්‍රමාණයක් භූගත බංකර් තුළ සුරක්ෂිතව පවතින බව විශ්වාස කෙරෙන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානය සතුව ඉතිරිව ඇත්තේ මිසයිල කිහිපයක් පමණක් බව ප්‍රකාශ කළද බුද්ධි අංශ දත්ත පෙන්වා දෙන්නේ ඉරානයට තවමත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරාන මිසයිලවලින් 99%ක් විනාශ කළත් ඉතිරි වන 1% පවා දැවැන්ත නෞකාවකට හානි කිරීමට ප්‍රමාණවත් විය හැකි බවයි.
පෙන්ටගනයට අනුව “Epic Fury” මෙහෙයුම හරහා ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන නිෂ්පාදන පහසුකම්වලින් 66%කට වැඩි ප්‍රමාණයක් සහ නාවික හමුදාව සතු යුද නැව්වලින් 92%ක්ම විනාශ කිරීමට අමෙරිකානු ප්‍රහාර සමත්ව තිබේ. කෙසේ වෙතත්, ඉරානය තවමත් සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත බැලස්ටික් මිසයිල 15ක් සහ ඩ්‍රෝන යානා 11ක් එල්ල කර ඇති අතර, ඉන්දියන් සාගරයේ පිහිටි දියාගෝ ගාර්ෂියා (Diego Garcia) අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුර ඉලක්ක කර ගනිමින් ද ප්‍රථම වතාවට දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. ඉරානය සතු සංකීර්ණ භූගත බංකර් පද්ධතිය හේතුවෙන් ඔවුන්ගේ සැබෑ යුද ශක්තිය නිවැරදිව තක්සේරු කිරීම අසීරු වී ඇති අතර, යුද්ධයට පෙර ඔවුන් සතුව ඊශ්‍රායලය වෙත ළඟා විය හැකි බැලස්ටික් මිසයිල 2,500ක් පමණ තිබූ බව ඊශ්‍රායල හමුදා නිලධාරීහු පවසති.














