පළතුරු වගා කිරීමේදී විෂ රසායනික ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කිරීම පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ ඇතැම් වගාකරුවන් විද්‍යාත්මක පදනමකින් තොරව පළතුරු ඉදවීමට විෂ රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා බවයි.
මෙම අනිසි භාවිතය පාලනය කිරීම උදෙසා කෘෂිකර්ම දෙපාර්‌තමේන්තුව විසින් ගොවීන්ට අවශ්‍ය පුහුණුව සහ තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු යොදා ඇත. පළතුරු ඉදවීම සඳහා විෂ රසායනික භාවිතය තහනම් බවත්, ඒ වෙනුවට විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද ගොවීන් දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර පහසුකම් පුළුල් කිරීමටත්, පළතුරු වගාවේදී රසායනික භාවිතය පූර්‌ණ වශයෙන් වළක්වා ගනිමින් ජනතාවට නිරෝගී පළතුරු ලබා දීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව ඉදිරියේදී මෙම වැඩපිළිවෙල වඩාත් කාර්‌යක්ෂමව ක්‍රියාවට නංවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
















