ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ තේ සහ ඇඟලුම් සඳහා ඉන්දීය වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් දේශීය නිෂ්පාදන එරටට හඳුන්වා දීමට අවශ්‍ය ප්‍රදර්ශන සහ වෙළෙඳ අවස්ථා නිර්මාණය කිරීමට මහ කොමසාරිස්වරයා මෙහිදී එකඟතාව පළ කළේය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සහල් මිල පාලනය සහ වෙළෙඳපොළේ පවතින සම්බා සහල් හිඟය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, සහල් මෙට්‍රික් ටොන් 300,000ක පමණ ප්‍රමාණයක් නිසි ලෙස කළමනාකරණය කරගත හැකිනම් සහල් මිල ස්ථාවර මට්ටමක පවත්වා ගත හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉන්දියාවේ ‘ෆුඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා’ (FCI) ආයතනය සතු දැවැන්ත ගබඩා පද්ධතිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පනත යටතේ තොග රැස්කිරීම් පාලනය කරන ආකාරය පිළිබඳවයි. එසේම ශ්‍රී ලංකාවේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) සහ ඉන්දියාවේ NCL ආයතනය අතර පුළුල් සහයෝගීතා ගිවිසුමක් ඇති කර ගැනීමට ද මෙහිදී මූලික එකඟතාවකට එළඹුණි.














