27 April 2024
#දේශීය

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව ගැන කැබිනට් මණ්ඩලයට සංදේශයක් – ඇමැති සුසිල්

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට දින දෙකක රාජකාරී නිවාඩු ලබා දීමට කටයුතු කළ අතර ඊට අමතර ව දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ, උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් වැඩි දුරක් ගෙවා පැමිණෙන උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට රුපියල් 2,000ක දෛනික දීමනාවක් ලබා දීමට කටයුතු කළ බවත් සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන රාශියක් දීපව්‍යාප්ත ව පිහිටුවා ඇති නිසා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට එවැනි ගැටලුවක් පැන නොනගින නමුත් ගුරු වෘත්තීය සංගම් විසින් පසු ව කරන ලද ඉල්ලීම් සලකා බැලිමෙන් අනතුරුවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ උපාධිධාරීන් 5,400 දෙනකු අලුතෙන් ගුරු සේවයට බඳවාගන්නා බවත් ඉන් 1,700ක් ම බඳවාගනු ලබන්නේ ජාතික පාසල්වලට බවත් නුදුරු දිනයක දී ම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විවෘත තරග විභාගයක් පැවැත්වීමට නියමිත බවත් ය. එසේ ම වතුකරයේ ගුරු හිඟය පියවීමට ගුරු සහායකයන් බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

වැටුප් විෂමතා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර අතපසු වූ ඉගෙනුම් වැඩ පූරණය සඳහා අමතර කාලයක් උගන්වමින් වැඩි කැපවීමක් සිදු කිරීමට ගුරුවරුන්ගේ අවධානය යොමු නොවුණහොත් දරුවන්ට පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති විශ්වාසය පළුදු විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *