27 April 2024
#දේශීය

රට තුළ ඖෂධ නිෂ්පාදනයේ ඉලක්කය 40% කින් ඉහළ නැංවීමට වැඩපිළීවෙලක් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40% ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළඳපොළට නිකුත් කිරීම නිමිත්තෙන් රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ පැවැති වැඩසටහනක දීය.

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin 50mcg, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole 20 mg කරල් සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid 50 mg පෙති විවෘත වෙළෙඳ පොළට නිකුත් කිරීම මේ අනුව අද නිලවශයෙන් සිදුවිය.මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා පෞද්ගලික අංශයට නිකුත් කෙරෙන අතර මෙය මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ ජයග්‍රහණයක් බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පෙන්වා දෙයි.

ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් මේ හරහා ඉතිරි කර කර ගැනීමට හැකි වනු ඇතැයි ද, පවතින ඩොලර් අර්බුදයට මෙමගින් ඉහළ විසඳුමක් අපේක්ෂා කරන්නේයැයිද අමාත්‍යවරයා පැවසීය.‍

මෙරට ඖෂධ නිෂ්පාදනයේ පවතින ගැටලු මෙන්ම ඒ ඉලක්කගත වැඩපිළිවෙළ පිළිබඳව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිලධාරීන් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ අතර එම අඩුපාඩු කඩිනමින් විසඳා ගනිමින් රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයේ නිසි ඉලක්ක සපුරා ගැනීම සඳහා වඩා අවධානය යොමු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමු ද්‍රව්‍ය ගෙන්වීම සඳහා රජය ප්‍රමුඛව අවධානයක් යොමු කර ඇතැයි ද ඉදිරි ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වනවිටත් වැඩපිළිවෙළ රැසක් ගනු ලබමින් සිටිනනේයැයිද හෙතෙම පෙන්වා දුන්නේය.රටෙහි වත්මන් අර්බුද හමුවේ අනවශ්‍ය සැපයුම් ජාලාවන් දැඩි අවදානමට ලක් වුවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටින බවත් අමාත්‍යවරයා පැවසීය .රෝගීන්ට ඖෂධ නොමැති වීමේ බලපෑම කිසිවකට සම කළ නොහැකි යැයිද එම නිසා රටේ ජනතාවගේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් රජය යොමුකරන අවධානය කිසි ලෙසකින් අඩු නොකරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රටට අවශ්‍ය සියලු ඖෂධ නියමිත ඉලක්කයට දේශීයව නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් එය ඉහළ ජයග්‍රහණයක් බවත් ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සතු වගකීම ප්‍රමුඛ වන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජයේ රෝහල්වල සායනික හා බාහිර රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ මේ වන විට විශාල වශයෙන් දේශීයව නිෂ්පාදනය කරන බවත් එය තවදුරටත් ඉහළ නංවමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *