ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් පැය කිහිපයක් ඇතුළත රික්ටර් මාපකයේ ඒකක 4.5 සහ 4.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදුව ඇති බව ඉන්දීය ජාතික භූ කම්පන මධ්‍යස්ථානය (NCS) වාර්තා කරයි. පළමු භූ කම්පනය ඊයේ (21) පෙරවරුවේ කිලෝමීටර් 130ක ගැඹුරින් සිදුව ඇති අතර, දෙවන ප්‍රබල භූ කම්පනය ඊයේ රාත්‍රී 10:43ට පමණ පොළොව මතුපිට සිට කිලෝමීටර් 82ක් ගැඹුරින් සිදුව තිබේ. යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි එකිනෙක ගැටෙන සක්‍රීය කලාපයක ඇෆ්ගනිස්ථානය පිහිටා තිබීම මෙම නිරන්තර භූ චලනවලට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම භූමිකම්පා දෙකම මධ්‍යම ප්‍රමාණයේ ගැඹුරක (Intermediate depth) සිදුව ඇති බැවින් පොළොව මතුපිටට දැනුණු කම්පනය සාපේක්ෂව අඩු මට්ටමක පැවති අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, දශක ගණනාවක යුධ ගැටුම් හේතුවෙන් දුර්වල වී ඇති ඇෆ්ගනිස්ථානයේ යටිතල පහසුකම් සහ ගොඩනැගිලි මෙවැනි සුළු කම්පනයකදී පවා දැඩි අවදානමකට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) අනතුරු අඟවයි. ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ පසු කම්පන (Aftershocks) ඇතිවීමේ ඉඩකඩ පවතින බව භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.














