27 April 2024
#දේශීය

චීනයෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක්

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස චීන සමූහාණ්ඩුව මගින් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධයක් වන එනැක්සපරීන් (Enaxaparin) එන්නත් 512,640 ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් මෙරටට පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂැන්හොන් (QI Zhenhong) විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේදී ඊයෙ (30) පෙරවරුවේ අදාළ පරිත්‍යාග තොගය ලබාදීම සිදු කෙරිණි.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ එන්නත් තොගය කිලෝග්‍රෑම් 4250 ක බරකින් යුක්ත වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 28 ක වටිනාකමකින් යුතු චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියර ලෙස එම ආධාර තොගය මෙරටට ලැබිණි.මෙම මානුෂීය ආධාර ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 76 ක් වන අතර, ඉන් මිලියන 28 ක් ආධාර වශයෙන්ද, මිලියන 48 ක් ණය ආධාර වශයෙන්ද ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා සහ සෞඛ්‍යාධාර) වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *