26 July 2024
#දේශීය

ජනාධිපති නියමයෙන් තවත් බදු සහනයක් !

අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කොට ඊයේ  (19) සිට දින 30ක් ඇතුළත එය සරල කරන ලෙස  ජනාධිපති උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ විධානය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් සියලුම ආණ්ඩුකාවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

ඊට අනුව රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමට රජය උත්සාහ ගනී. ජන ජීවිතය පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක්‍රමිකතා පිටු දැකීම සහ කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම ඉන් අපේක්ෂා කෙරේ.

රජයේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක උපාය මාර්ග අඩාලකරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු, අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් ඇතැයි  ලේකම්වරයා සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.

එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරීම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත.

විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගතකරණය සහ ආදයම් බෙදාගැනීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්ති ව්‍යුහය සමග සමපාත විය යුතු බව ද එහි වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *