දශක තුනකට පෙර සපත්තු යුගල 600කින් ආරම්භ වූ චීනයේ ඇන්ටා (Anta) සන්නාමය, අද වන විට ලොව ප්‍රමුඛතම ක්‍රීඩා සන්නාම වන Nike සහ Adidas වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටී. චීනය පුරා වෙළෙඳසැල් 10,000කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන ඇන්ටා සමාගම, පසුගියදා සිය පළමු ඇමරිකානු ප්‍රදර්ශනාගාරය ලොස් ඇන්ජලීස් නුවර බෙවර්ලි හිල්ස් (Beverly Hills) හි විවෘත කළේය.
ඇන්ටා සමාගමේ සාර්ථකත්වයේ රහස වන්නේ ඔවුන් සතු සුවිශේෂී නිෂ්පාදන ජාලයයි. අතීතයේදී නයිකි සහ ඇඩීඩාස් වැනි සමාගම් සඳහා සපත්තු නිෂ්පාදනය කර දුන් චීන කර්මාන්තශාලා, දැන් තමන්ගේම සන්නාමයක් යටතේ ලෝකය ජය ගැනීමට සැරසෙයි. මේ වන විටත් ලොව සුප්‍රකට සන්නාම වන Fila (චීනය තුළ), Arc’teryx, Salomon සහ Wilson වැනි සමාගම්වල හිමිකාරිත්වය ඇන්ටා සතු වන අතර, මෑතකදී ඔවුන් ජර්මනියේ Puma සමාගමේ කොටස් ද මිලදී ගත්තේය.
“අපට අවශ්‍ය වන්නේ චීනයේ නයිකි වීමට නොව, ලෝකයේ ඇන්ටා වීමටයි” යන්න එහි නිර්මාතෘ ඩින් ෂිෂොංගේ (Ding Shizhong) දැක්මයි. ඇමරිකානු තීරුබදු සහ වෙළෙඳ සීමා මධ්‍යයේ වුවද, චීන නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින වේගවත් බව සහ පිරිවැය අඩුකම හේතුවෙන් ඇන්ටා සන්නාමය ගෝලීය වෙළෙඳපොළ තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.














